Tuesday, August 15, 2017

අමරණීයන්ගේ ගෘහයේදී ඩෙනේරිස් දකින දර්ශන| Dany's visions in House of the Undying


ටීවී සීරීස් එකේ දෙවනි සීසන් එකේ නම් ඩැනී අමරණීයන්ගේ ගෘහයට යන්නේ එකෙ ඇතුලෙ හොරකම් කරපු මකරු හංගලා තියන නිසා. පොතේ නං ඩැනී ඕක ඇතුලට යන්නෙ අමරණීයන්ගේ දැනුම ලබා ගන්න. අමරණීයන්ගේ ගෘහයේදී ඩැනීට විවිධ දර්ශන පේන්න ගන්නවා. හරියටම කිව්වොත් දර්ශන 19ක්.
මේ දර්ශන වලින් අතීතයේ සිද්ධ වුන දේවල්, අනාගතයේ වෙන්න තියෙන දේවල් නිරූපණය වෙනවා. හැබැයි අනාගතයේ වෙන්න තියන දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ නොවෙන්න පුළුවන් ( උදාහරණ ඉදිරියට කියවනකොට තියේවි)

1) ඩැනි දකින පළවෙනි දේ තමයි නිරුවත් කාන්තාවකගේ සිරුරක් කුඩා මිනිසුන් හතර දෙනෙක් විසින් ඇගේ මස් කඩා කමින් ඇයව දූෂණය කරන දර්ශනයක්


[මේ දර්ශනයේ කාන්තාව වෙස්ටරෝස් සදහා උපමාවක් ලෙසත් කුඩා මිනිසුන් හතර දෙනා ඒ වන විට යුධ වැදී සිටි රජවරු හතරදෙනා ලෙසත් නිරූපණය වෙනවා (මේ වෙනකොට රෙන්ලි මැරිලා. ඉතිරි හතරයි)]

2)ඊළගට ඩැනී දකින්නේ මළසිරුරු පිරුණ භෝජන සංග්‍රහයක්. පු‍ටු මේස කෝප්ප පිගන් පෙරළුන කාමරයක්. කාමරයේ සිංහාසනයක් මත වෘක හිසක් තියෙන කෙනෙක් යකඩ ඔ‍ටුන්නක් දමාගෙන ඉන්න දර්ශනයක්

[මේකෙන් නිරූපණය වෙන්නෙ රතු මංගල්‍යය (Red wedding) හෙවත් ෆ්‍රේ බලකො‍ටුවේදී ස්ටාර්ක්ලා සමූල ඝාතනය වුන සිද්ධිය. වෘක හිසක් තියන යකඩ ඔ‍ටුන්නක් දාගෙන ඉන්න කෙනා රොබ් ස්ටාර්ක්. මේ දර්ශනයේ විශේෂත්වය තමයි ඊළග පොතේ වෙන්න තියන සිද්ධියක් නිවරදිව දර්ශනය මගින් පෙන්වීම]


3) තුන්වනි දර්ශනියෙන් පෙන්වන්නෙ ඩැනී සහ විසේරිස් හැදී වැඩුන බ්‍රාවෝස් වල පිහිටලා තිබුන රතු දොරක් සහිත ගෙය.



4) ඊළගට මකර හිස් කබල් පිරුණ ශාලාවක උල් ක‍ටු තියන සිංහාසනයක වාඩි වෙලා ඉන්න මහළු මිනිහෙක්ගේ දර්ශනයක්. මේ මහළු මිනිහා "එයා අළු සහ පිච්චුන මස් වල රජා වෙච්චාවෙ" කියලා කෑගහනවා.
[මේකෙන් පැහැදිලිව නිරූපණය වෙන්නේ ඩැනීගෙ තාත්තා හෙවත් මෑඩ් කිංග් මුළු අගනුවරම ගිනිබත් කරන්න අණ දෙන සිද්ධිය]



5) පස්වෙනි දර්ශනය විදිහට ඩැනී දකින්නෙ තමාගේ සහෝදරයා විසේරිස්ගෙ කොණ්ඩය තියන, එයාට වඩා උස කෙනෙක් සහ අලුත උපන් දරුවෙක් වඩාගෙන ඉන්න කාන්තාවයකගෙ දර්ශනයක්.
"ඒගෝන්" "රජෙකුට ගැළපෙන නමක්" උස සුදුපාට කොණ්ඩය තියන කෙනා කියනවා.

"ළමයා වෙනුවෙන් ඔයා ගීතයක් ලියනවද" ගෑණු කෙනා අහනවා.

"එයාට ගීතයක් තියෙනවා. ඔහු තමයි පොරොන්දු වුන කුමාරයා (The Prince That Was Promised), හිම සහ ගිනි තමයි ඔහුගේ ගීතය"

ඔහු අහක බලනවා "ඒත් මකරාට හිස් තුනක් තියනවා, තව කෙනෙක් අඩුයි" ඔහු මුමුණනවා

ඔහු තමන්ගෙ වීණාවෙන් දුක්බර ගීතයක් වාදනය කරනවා

[ මේ දර්ශනයේ විසේරිස්ගෙ කොණ්ඩය තියන උස කෙනා ඩැනීගේ ලොකු අයියා හෙවත් රේගාර් ටාගේරියන්. කාන්තාව එලියා මාර්ටෙල්, අලුත උපන් ළමයා රේගාර්ගෙ දෙවනි ළමයා හෙවත් ඒගෝන්. රේගාර් ගොඩක් අනාගත වාක්‍ය විශ්වාස කරපු කෙනෙක්. ලෝකය බේර ගන්න එන පොරොන්දු වුන කුමාරයා/ මකර ත්‍රිත්වය වගේ දේවල් රේගාර් විශ්වාස කලා. රේගාර් හිතුවෙ තමන්ගෙ ළමයින් තුන් දෙනා මකර ත්‍රිත්වය සහ පොරොන්දු වුන කුමාරයා බවට පත් වෙනවා කියලයි. ]


6) හයවෙනි එක දර්ශනයක් කිව්වට මේක අමරණීයන් (undying)ඩැනීට කරන ප්‍රකාශයක්. ප්‍රකාශය මෙහෙමයි
ඔබ තෙවරක් ගිනි දැල්විය යුතුය
වරක් ජීවිතයට
වරක් මරණයට
වරක් ආදරයට
ඔබ තෙවරක් නැංවිය (mount)යුතුය
වරක් සයනයට (ඇඳට)
වරක් භීතියට
වරක් ආදරයට
ඔබ තෙවරක් පාවා දීමට ලක්වේවි
වරක් රුධිරයට
වරක් රත්‍රං වලට
වරක් ආදරයට

ජීවිතය උදෙසා ගිනි දැල්වීම සිදු වෙන්නෙ මකර බිත්තර, යක්දෙස්සිය සහ කාල් ඩ්‍රෝගෝ ගේ මෘත සිරුරට ගිනි දල්වා, එම ගිනි මැලයට ඩැනී ඇතුලු වීමෙන්. මේ නිසා මකරු උපත ලබනවා. ජීවිතය උදෙසා ගිනි දැල්වුයේ එහෙමයි
මරණය වෙනුවෙන් ගිනි දැල්වූවේ ඩොත්‍රාකි ශුද්ධ භූමියේ ඩොෂ් කලීන් පන්සලට ගිනි දල්වා සියලුම කාල් වරු මරණයට පත් කිරීමෙන්
ඩැනී තවම ආදරය වෙනුවෙන් ගිනි දල්වා නෑ. ඒ කියන්නෙ ඉදිරියේදී තවත් ගිනි දැල්වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ගිනි දැල්වීම බොහෝ විට ජොන් වෙනුවෙන් කරන්න පුලුවන්
නැංවීම (mount)කියන වචනේ තේරුම බයිසිකලයක්/ සතෙක් උඩ නගිනවා කියන අදහසයි.
සයනයට නැගපු සතා ඩ්‍රෝගෝ තෑගි කල රිදී අශ්වයා
භීතිය පතුරවන්න නැගපු සතා මකරා ඩ්‍රෝගෝන්
ආදරය වෙනුවෙන් තාම සතෙකු පිට නැගලා නෑ. බොහෝ විට මේක ජොන්ගෙ ඝෝර වෘකයා (dire wolf)වෙන්න පුළුවන්

ඊට අමතරව mount/ ride කියන්නෙ ලිංගික සහකරු වෙන්න පුලුවන්. එතකොට

සයනයට කාල් ඩ්‍රෝගො

භීතියට හිස්ඩා/ ඩාරියෝ නහාරිස්
ආදරයට තවම නැත


රුධිර පාවා දීම වෙන්නෙ ඩ්‍රෝගෝට වෙදකම් කරන්න ගෙනාව යක්දෙස්සිය ලේ මැජික් වලින් ඩැනීගේ නූපන් ළමයා මරා කාල් ඩ්‍රෝගෝගේ මනස විනාශ කිරීමෙන්.
රත්‍රං වෙනුවෙන් පාවා දීම සිදුවන්නෙ ජෝරා මෝමන්ට් ඩැනී ගැන රොබට් බැරෑතියන්ට ඔත්තු බැලීමෙන්
ආදරය වෙනුවෙන් තවම ඩැනී පාවා දීමකට ලක්ව නැත. එම පාවා දීම බලාපොරොත්තු වෙන්න පුළුවන්





7) හත්වෙනි දර්ශනය විදිහට ඩැනී දකින්නේ රත්කල රන් ඔළුවට වක් කිරීමෙන් විසේරිස් මරා දැමෙන සිද්ධිය




8) ඊළගට උස දුඹුරු තඹවන් සමක් ඇති රිදී පැහැති හිස කෙස් සහිත පුද්ගලයෙක් ගිනිගෙන දැවෙන අශ්වයෙක් සහිත ධජයක් ඉදිරියෙන් ඉන්න දර්ශනයක්. ඔහුගේ පි‍ටුපසින් ගිනිබත් කරන ලද නගරයක් දිස්වෙනවා

[මේ ඩැනීගේ නූපන් පුත්‍රයා හෙවත් ලොව ජය ගන්නා අසරුවා. ඩොත්‍රාකි දුඹුරු සමත් ටාගේරියන් රිදී හිස කෙසුත් ඔහු සතු වෙනවා. ගිනිගෙන දැවෙන අශ්වයා ඔහුගේ සංඛේතයයි. මෙය සැබෑ නොවෙන අනාගත දර්ශනයකට උදාහරණයක් ]


9] පණ අදින කුමාරයාගෙ පපුවෙන් පද්මරාග මැණිකැට රුධිරය මෙන් විසිවෙනවා. දණහිස තෙක් ගැඹුරු වතුරේ ගිලෙමින් අවසන් හුස්ම හෙලන ගමන් ඔහු ගැහැණියකගේ නම මුමුණනවා

[මේ ත්‍රිශූලයේ සටනේදි (battle of Trident) රොබට් බැරෑතියන්ගෙන් පහර කා පණ අදින රේගාර් ටාගේරියන් ඉන්න දර්ශනයක්. රේගාර්ගේ ශරීර ආවරණයේ පද්මරාග මැණිකැට විසිරී යනවා. ඔහු අන්තිමට මුමුණන්නේ ඔහුගේ බිරිදගේ නම එලියා මාර්ටෙල්ද එසේ නැත්නම් ලියානා ස්ටාර්ක්ගේ නමද?]


10) දැන් ඩැනී දකින්නේ රෙදි වලින් නිමවපු පොලු වලින් උස්සන් ඉන්න රූකඩ මකරෙකුගේ දර්ශනයක්

[මේක තේරුම් කරන්න සංකීර්ණ කතාවක් කියන්න වෙනවා. මේ සිද්ධිය ටීවී සීරීස් එකේ නෑ. රොබට්ගේ කැ‍රැල්ල වෙලාවේ ලැනිස්ටර් හමුදාව අගනුවර ආක්‍රමණය කරනකොට වේරිස්, රේගාර්ගේ පුතා එගෝන් වෙන ළමයෙකුට මාරු කරනවා. ඒගෝන් බේරෙනවා. වේරිස් ඔහුව එසෝස් වලට යවනවා. මේ කතාව තමයි වේරිස් කියන්නෙ. පොතේදි මේ එගෝන් ගෝල්ඩන් කම්පණි කියන කුලී හමුදාව එක්ක ඇවිත් වේරිස්ගෙ උදව්වෙන් අගනුවර ආක්‍රමණය කරන්න සැලසුම් කරනවා
හැබැයි වේරිස් ඒගෝන් ගැන කියන කතාව විශ්වාස කරන්න බෑ කියලා තමයි බොහෝ ෆෑන්ස්ලා හිතන්නෙ.ඒ වෙනුවට ෆෑන්ස්ලා තියරියක් නිර්මාණය කරනවා. ඒ තියරිය තමයි පහලින් තියෙන්නෙ.
වේරිස් ඇයි ඒගෝන් රජ කරවන්න වලිකන්නෙ. වේරිස් තැනක කියනවා ඔහු සේවය කරන්නෙ රාජ්‍යයට පමණයි කියලා. ඔහු රාජ්‍යයට සේවය කරනවා නම් ඇයි ඒගෝන් වෙනුවෙන් රාජ්‍යය අස්ථාවර කරන්න උත්සහා කරන්නෙ. ඒගෝන් වගේ පිටින් කෙනෙක් සහ කුලී හමුදාවකින් රාජ්‍යයට සේවයක් වෙන්නෙ කොහොමද? උත්තරේ නම් ප්‍රතිපත්ති වලට එහා ගිය බැදීමක් එගොන් ගැන වේරිස්ට තියනවා. සරලව කිව්වොත් ලේ බැදීමක්. මේ බැදීම නිසා ඔහුට අවශ්‍යයි ඒගෝන් අයන් ත්‍රෝන් එකේ ඉදුවන්න.
කතාව ඉදිරියට කියන්න නම් බ්ලැක්ෆයර් පවුල සහ බ්ලැක්ෆයර් කැරලි ගැන දැනගන්න වෙනවා.(බ්ලැක්ෆයර් පවුල ගැන වැඩි විස්තර )
බ්ලැක්ෆයර් පවුල ආරම්භ කලේ ටාගේරියන් අවජාතකයෙක්. බ්ලැක්ෆයර් පවුල අයන් ත්‍රෝන් එකට අයිතිවාසිකම් කියමින් ටාගේරියන් පවුලට විරුද්ධව කැරලි ගැහුවා. මේ කැරලි වලදි බ්ලැක්ෆයර් පවුලේ සියළුම පුරුෂ උරුමක්කරුවන් මිය යනවා. හැබැයි ගැහැණු උරුමක්කරුවන් කිහිප දෙනෙක් ඉතිරි වෙනවා. තියරිය තමයි මේ ගැහැණු උරුමක්කරුවෙක්ගෙ පුතා තමයි ඒගෝන් ලෙස වෙස් වලාගෙන ඉන්නෙ. මේ ගැහැණු උරුමක්කරුවා විවාහ වෙලා ඉන්නෙ ඉලේරියෝ මොපාටිස් (මුල්ම සීසන් එකේ ඩැනි සහ විසේරිස් ඉන්න ගෙදර අයිතිකාරයා) සමග. ගැහැණු උරුමක්කරුවාගේ සහෝදරයා තමයි වේරිස්. ඉලේරියෝ සහ වේරිස්ට මේ ව්‍යාජ එගෝන්ව රජකරවන්න ඕන වෙන්නෙ මේ පවුල් බැදීම නිසයි. වේරිස් කොණ්ඩය භූ ගාන්නෙ ටාගේරියන් වරු වගේ කොණ්ඩයක් ඔහුට තියන නිසා ඒක වහන්න බව විශ්වාසයක් තියනවා. වේරිස්ට රාජකීය ලේ තියන එකට තවත් සාක්ෂියක් තමයි ඔහු කුඩා කාලයේ ලේ මැජික් සදහා ඔහුගේ ලිංග ඉන්ද්‍රියන් භාවිත කිරීම. (රාජකීය රුධිරය ලේ මැජික් කරන්න ඕන වෙනවා).
මේ ව්‍යාජ එගෝන්, බ්ලැක්ෆයර් වරයෙක් බවට තියන තවත් සාක්ෂියක් තමයි ඔහු සමග එන ගෝල්ඩන් කම්පණි කුලී හමුදාව. ගෝල්ඩන් කම්පණි කුලී හමුදාව ආරම්භ කලේ බ්ලැක්ෆයර් කැරලි සමයේ ටාගේරියන් අවජාතයෙක් විසින් ටාගේරියන් වරුන්ට එරෙහිවයි. එහෙම කුලී හමුදාවක් ටාගේරියන් වරයෙක් බලයට පත් කරන්න උදව් දේවි කියන එක හිතන්න අමාරුයි. නමුත් බ්ලැක්ෆයර් වරෙයෙක් බලයට පත් කරන්න ඔවුන් එක පයින් කැමති වෙනවා නොඅණුමානයි
ඉතින් ඩැනී දකින රූකඩ මකරාගෙන් නිරූපණය වෙන්නෙ වේරිස් රජ කරවන්න හදන ව්‍යාජ ටාගේරියන්වරයාවයි.



11). දුම් රො‍ටු නගින කණුවක පාෂාණ සතෙක් පියාපත් විදහා පාන අතර සෙවනැළි ගිණි පිඹියි.

[පාෂාණ සතාගෙන් නිරූපණය වන්නෙ ග්‍රේ ස්කේල් වැලදී ඇති ජෝන් කොනින්ග්ටන් නම් නයිට් වරයායි. ජෝන් කොනින්ටන් යනු ඒගෝන් ටාගේරියන්ගේ භාරකරු ලෙස කටයුතු කරන පුද්ගලයායි. මෙහි සෙවනැලි ගිනි යනුවෙන් අදහස් වන්නෙ ඒගෝන් ටාගේරියන් සැබෑ මකරකු නොව ව්‍යාජ සෙවනැලි මකරකු බවයි]


12) ඩෙනේරිස්ගේ අශ්වයා "සිල්වර්" තණ බිම් හරහා දිව ගොස් තාරකා සාගරක් යට අදුරු දිය කඩිත්තකට ගමන් කරන දර්ශනයක් ඇය දකිනවා
[ මෙයින් නිරූපණය වන්නේ ඩේනේරිස් හා කාල් ඩ්‍රෝගෝ ගේ විවාහ රාත්‍රියේ නවාතැන් ගත් ස්ථානයයි]

13) නිල් මලක් හිම තාප්පයක කඩතොලු අතරින් ලියලයි. මේ මල අවට පරිසරය නැවුම් සුවදකින් පුරවයි.

[ නිල් මල ලියානා ස්ටාර්ක් නිරූපණය කරනවා. හැරන්හෝල් තරගාවලිය ජය ගත් රේගාර් ටාගේරියන් නිල් රෝස වලින් නිමවපු ඔ‍ටුන්නක් ලියානාගේ හිසේ පළදවනවා. ඊට අමතරව වින්ටෆෙල්හි ලියානාගේ සොහොන් ගැබේ නිල් රෝස වලින් හදපු මල් මාලයක් පළදවා තියනවා. හිම තාප්පයේ කඩතොලු අතරින් පිපුණ නිල් මල, ලියානාගේ දරුවා වන ජෝන් ස්නෝව් නිරූපණය කරනවා.
පොතේ පාඨකයන් ජෝන් ස්නෝව් ගේ දෙමව්පියන් නිවැරදිව අනුමාන කිරිමට ඩැනී දු‍ටු මේ දර්ශනය උදව් කරගෙන තියෙනවා.]



14) අවලස්සන සෙවනැලි කුඩාරමක් තුල කැරකෙමින් නර්තනයේ යෙදෙනවා ඩෙනේරිස් දකියි

[ මෙය කාල් ඩ්‍රෝගෝ සුවපත් කිරීමට යක්දෙස්සිය කල රුධිර මායා පූජාව නිරූපණය කරනවා



15) ඊළගට ඩැනී දකින්නේ ඩ්‍රෝගෝට වෙදකම් කිරීමට ඉදිරිපත් වූ යක්දෙස්සිය ගිනි ගෙන දැවෙන දර්ශනයක්. ගිනි දැල් අතරින් මකරුන් උපදිනවා


16) රිදී අශ්වයෙක් පි‍ටුපස නිරුවත් මළ සිරුරක් ඇද ගෙන යන දර්ශනයක්

[ මෙය ඩැනීට වස දීමට තැත් කල වයින් වෙළෙන්දාට දුන් දඩුවමයි. ඔහු මිය යනතුරු ඩෙනේරිස්ගේ රිදී පැහැ අශ්වයාගෙ පි‍ටුපසින් ගැට ගසා ඇවිදින්නට සැලැස්සුවා]


17) ඊළගට සුදු පැහැති සිංහයෙක් තණබිම් හරහා දුවන දර්ශනයක් ඩැනී දකිනවා

මෙයින් බොහෝ විට නිරූපණය වන්නේ ජේමි ලැනිස්ටර් විය හැකියි. ලැනිස්ටර් පවුලේ ලාංඡනය සිංහයා වීමත්, ජේමි රජුගේ ආරක්ෂකයන් පළදින සුදු පැහැදි ශරීරාවරණ පැලදීම මීට හේතුවයි.



18) කදු මාතාව අබියස, විලකින් ගොඩට එන නිරුවත් මැහැල්ලන් ඩෙනේරිස් ඉදිරියේ දණ නවයි. සුදු හිසකෙස් ඇති ඔවුන්ගේ ඔළු පහලට බර වී ඇත

[ මෙය කදු මාතාව අභියස හෙවත් ඩොත්‍රාකි ශුද්ධ භූමියේදී ඩෙනේරිස් විසින් සියළුම කාල්වරු මරා දැමීමෙන් පසු ඩොෂ් කලීන් පූජකවරියන් ඇය ඉදිරියේ දණ නමන සිදුවීමයි]



19) දස දහසක් වහලුන් තමන්ගේ ලේ වැකි අත් වලින් ඩෙනේරිස්ව ස්පර්ෂ කිරීමට ඉදිරියට පැමිණේ. ඔවුනේ මුවින් " අම්මා" ලෙස හඩ නගයි.

[මෙය යුන්කායි නගරයේ වහලුන් නිදහස් කිරීම නිරූපණය කරන දර්ශනයයි]


2 comments:

  1. මාර්ටින් සීයාගේ පොත් සෙට් එක පිළිවලින් දාපන්කෝ, ලාබෙට ගන්න තැනකුත් කියහන්.

    උඹේ බ්ලොග් කෑල්ල තව සින්ඩියක දෙකක එල්ලහන්.

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete