Wednesday, January 29, 2014

මානව හිමිකම් සහ දේශපාලන ක්‍රීඩාව




හිටපු ඊශ්‍රායල අගමැති ඒරියල් ෂැරෝන් පහුගිය දිනක අභාවයට පත් විය. 1953 දී ඊශ්‍රායල හමුදාව විසින් සිදු කරන ලද කුප්‍රකට කිබියා ගම්මාන සංහාරයට අණ දුන්නේ එවකට හමුදා නිළධාරියකුව සිටි ඒරියල් ෂැරෝන් බව සඳහන් වේ. ඊට අමතරව සරණාගත කඳවුරු ආශ්‍රිතව කරන ලද යුධ අපරාධද ඔහුගේ ගිණුමට බැරවී තිබේ.

ජනාධිපති ඔබාමා බලයට පත්වූ විගස වසා දමනවා යැයි කියූ ගුවන්තනමෝ බේ සිරකඳවුර ඉවත් කිරීමට මේ වනතෙක් අසමත් වී තිබේ.

ලෝකය සර්ව සාධාරණ ස්ථානයක් නොවේ. ලංකාවේ යුධ අපරාධ වලට එල්ල වන ප්‍රතිරෝධය ඒරියල් ෂැරෝන්ලාට, නේටෝ වැනි සංවිධාන වලට එල්ල වන්නේ ඉතා අවම වශයෙනි.  එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඊශ්‍රායලයට විරුද්ධව කොපමණ ක්‍රියාමාර්ග ගත්තද ඊශ්‍රායලය ඒවා සතපහකට වත් ගණන් ගන්නේ නැත. ඊට එක් හෙතුවක් නම් ඊශ්‍රායලය යනු ආර්ථික, සමාජීය සහ හමුදාම වශයෙන් ඉතා ශක්තිමත් රටක් වන බැවිනි. අනෙක් හෙතුව නම එරට වෙනුවෙන් පෙනී සිටින ඇමරිකාව බඳු බලවත් රාජ්‍යයන් තිබීමය. ඉහත වාසි දෙකම ලංකාවට නැත. දේශපාලන ක්‍රීඩාවේ හැටි එහෙමය. 

ලංකාව කල යුත්තේ පිටියේ ස්වභාවය අවබෝධ කරගෙන ක්‍රීඩා කීරීම මිස අසාධාරණ වුවත් විනිසුරුවන්ට අභියෝග කිරීම නොවේ. සිංහලෙන් බෝඩ් අල්ලගෙන තානාපති කාර්යාල වැටලීම වැනි වැඩ නිරර්ථක ක්‍රියාවන් වේ.

දේශපාලනය පසෙකින් තබා මානුෂිකව සිතුවොත් ලංකාවේ පමණක් නොව ලොව සියළු තැන සිදුවන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වලට වගකිව යුත්තෝ යුක්තිය ඉදිරියට ගෙන ආ . යුතුය. උදාහරණයක් ලෙස බාලචන්ද්‍රන් ඝාතනය සාපරාධී ක්‍රියාවකි. ඉහිරුනු කිරට හඬා පලක් නැත. දැන්  කල යුත්තේ ඩැමේජ් කන්ට්‍රෝල් කිරිමය. රටක මිලිටරිය යනු සර්ව සම්පූර්ණ ආයතනයක් නොවේ. එහිද අතපසු වීම් වැරදි සිදුවේ. මිලිටරියක් අතින් වැරදි සිදුවන විට එයට වන්දි ගෙවන්න වෙන්නේ මිනිස් ජීවත වලනි. අවම වශයෙන් බාලචන්ද්‍රන්ගේ සිද්ධියට සම්බන්ධ ක්ෂේත්‍රයේ සිටි හමුදා නිළධාරියාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි.

දෙවන ලෝක යුධ සමයේ ලෝකය අත්දු‍ටු අපරාධ නිසාම වර්තමානයෙදී මානව හිමිකම් වලට විශේෂ අවධානයක් යොමු වී තිබේ.
  
 මානව හිමිකම් යනු ද්‍රෝහින්ගේ මාතෘකාවක් නොවේ. මානව හිමිකම් ගැන කතා කරන්නේ ද්‍රෝහීන් පමණක් නම් ලොකුම ද්‍රෝහියා මහින්ද රාජපක්ෂය. මානව හිමිකම් යනු ඔබෙත් මගෙත් අභිමානය ‍රැකගෙන මෙලොව ජීවත් වීමේ අයිතියයි.

ආණ්ඩුව මානව හිමිකම් ප්‍රශ්නයේදී මුලින්ම කල වරද නම් "සීරෝ සිවිලියන් කැෂුවල්ටි" කියා ලොකු පුරසාරමක් දෙඩීමය. එහෙම යුද්ධ ලෝකයේ සිද්ධ වෙනවා නම් ඒ ඉතා අල්ප වශයෙනි. දැන් රජය කල යුත්තේ කොටි සංවිධානය නිසා තමන්ගේ ජීවිත වලට තර්ජන ඇතිවූ සමාජ කොටස් වල දුක් ගැනවිල්ල ජාත්‍යන්තරයට ගෙන යාමය. මට බලය තිබෙනවා නම් මම කරන්නේ නාසි යුධ අපරාධ කරුවකු වන අයික්මාන්ට කලා වගේ කේපීව දීර්ඝ නඩු විභාගයකට යටත් කිරීමය. විත්තිකාරයෝ ගෙන්නලා කැමරා ඉස්සරහ අඬවලා ජාත්‍යන්තරයට හොඳ ෂෝ එකක් බලන්න දෙන එකය.

Tuesday, January 28, 2014

පත්තර කියවන්නේ කව්ද || Who reads the papers?



ජුනි මාසේ කතන්දරකාරයාගේ පොස්ට් එකක කියලා තිබුනා පත්තර වල ලියවෙන්නේ පත්තරේ අයිතිකාරයාට ඕන දේවල් බව. ඒක කියවද්දි මට මතක් වුනේ පත්තර කියවන්නේ කවුද කියලා යස් මිනිස්ටර් (Yes Minister) කතා මාලාවේ අගමැතිතුමා, අගමැති ලේකම් සහ ඔහුගේ පෞද්ගලික ලේකම් අතර ඇතිවන සංවාදයක්

අගමැති : පත්තර ගැන මට කියන්න එන්න එපා. ඔය පත්තර කියවන්නේ කවුද කියලා මම හරියටම දන්නවා

ඩෙලි මිරර් කියවන්නේ තමන් රට පාලනය කරන බව හිතන් ඉන්න කට්ටිය

ගාර්ඩියන් කියවන්නේ රට පාලනය කල යුත්තේ තමන් බව හිතන කට්ටිය

ටයිම්ස් පත්තරේ කියවන්නේ ඇත්තටම රට පාලනය කරන කට්ටිය
ඩෙලිමේල් කියවන්නේ ආණ්ඩු කරන අයගේ නෝනලා

ෆයනෑන්ෂල් ටයිම්ස් කියවන්නේ රට අයිති කරන් ඉන්න කට්ටිය

මොර්නින්ග් ස්ටාර් කියවන්නේ රට, වෙනත් රටක් විසින් පාලනය කල යුතුයි හිතන කියලා කට්ටිය

ඩේලි ටෙලිග්‍රාෆ්  කියවන අය හිතන් ඉන්නේ ඇත්තටම රට පාලනය කරන්නේ වෙන රටක් බව.


අගමැති ලේකම්: එතකොට අගමැතිතුමා සන් පත්තරේ කියවන්නේ කවුද?

(පෞද්ගලික ලේකම් බාධා කරයි)

පෞද්ගලික ලේකම් කවුරු රට පාලනය කලත් සන් පත්තරේ කියවන අයට වැඩක් නෑ. ඒ ගොල්ලන්ට වැදගත් වෙන්නේ තුන්වෙනි පි‍ටුවේ ඉන්න කෙල්ලගේ පියයුරු ලොකුද කියන එක විතරයි





එංගලන්තේ පත්තර සහ ලංකාවේ මාධ්‍ය අතර වැඩි වෙනසක් නැත .

ලංකාදීප, දිනමිණ, දිවයින, සී නිවුස්, ඊ නිව්ස්, The Nation, Colombo Telegraph වැනි මාධ්‍ය කියවන අය  ඉහත තමන් කැමති කැටගරියකට දා ගත හැක